මිනාබ් පාසල් ශෝකන්තකයේ මතකය සහ ශ්‍රී ලංකාවේ රැකවරණය ලබන දරුවන්ගේ ජීවිත එකට කැටි කරමින් ඉරාන තානාපති අලි රේසා ඩෙල්කොෂ් මහතා කොළඹ ෆාතිමා නේවාසිකාගාරයේ පැවති උත්සවයකදී සංවේදී අදහස් පළ කළේය. සන්නද්ධ ගැටුම්වලදී සිවිල් වැසියන්, විශේෂයෙන්ම දරුවන් ආරක්ෂා විය යුතු බවත්, එය ජාත්‍යන්තර මානුෂීය නීතියේ අනිවාර්ය සම්මතයක් බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
2026 පෙබරවාරි 28 වන දින අමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් මිනාබ් ගැහැණු ළමුන්ගේ පාසල ඉලක්ක කරගත් බවත්, එහිදී “කුඩා දේවදූතයන්” 168 දෙනෙකු දිවි පිදූ බවත් තානාපතිවරයා සිහිපත් කළේය. මෙම ප්‍රහාරය මානුෂීය නීතියේ හරයට එල්ල කළ ප්‍රහාරයක් ලෙස ඔහු හඳුන්වා දුන්නේය.
ෆාතිමා නේවාසිකාගාරයේ පැවති මෙම උත්සවයේදී තානාපතිවරයා දරුවන් සමඟ සුහදව අන්තර්ක්‍රියා කළ අතර, එම දරුවන් සහ මිනාබ් පාසලේ දිවි පිදූ සිසුන්ගේ මතකය එක් කරමින් සංකේතාත්මක වැඩසටහනකට එක් විය. එහිදී නේවාසිකාගාරයට පුණ්‍යාධාර පිරිනැමූ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ අවදානමට ලක්වූ කණ්ඩායම් සඳහා සහාය දැක්වීමට සහ මානුෂීය වටිනාකම් සුරැකීමට ඉරානය තුළ ඇති කැපවීම අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සහභාගී වූ සිසුන් සහ ගුරුවරුන් නියෝජනය කරමින් අදහස් දැක්වූ සිසුවෙකු, ඉරාන තානාපති කාර්යාලයේ සහාය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. අහිංසක ජීවිත අහිමිවීම පිළිබඳව ශෝකය පළ කළ ඔවුහු, සෑම දරුවෙකුම ආරක්ෂිතව, ආදරයෙන් සහ රැකවරණයෙන් යුතුව ජීවත් වන ලෝකයක් උදාවේවා යැයි ප්‍රාර්ථනා කළහ.














