මුළු මහත් නගරයක්ම නිදිබරව පසන්ව සිටි අලුයම යාමයක, කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මාරයෙකු එක් නිවාස සංකීර්ණයක් තුළ රහසින්ම අවදි වී තිබේ. දිල්ලි නුවර විවේක් විහාර් ප්‍රදේශයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක දෙවන මහලෙන් ඇරඹි මෙම බිහිසුණු ගින්න, නිවෙස් තුළ සිටි වැසියන්ට පලායාමට පවා ඉඩක් නොතබාම ඉතා වේගයෙන් ඉහළ මහල් වෙත පැතිර ගොස් ඇත්තේ දැවැන්ත විනාශයක සේයාවන් ඉතිරි කරමිනි. අඳුර කපාගෙන නැගුණු ගිනිදැල් සහ ඝන දුමාරය හමුවේ අසරණ වූ පවුල් කිහිපයකට අත් වූයේ මුළු ලෝකයම කම්පා කරවන අවාසනාවන්ත ඉරණමකි.
අද (03) අලුයම 4:00ට පමණ හටගත් මෙම ගින්න නිවීමට ගිනි නිවන රථ 14ක් යොමු කළද, සහන සේවා නිලධාරීන් පැමිණෙන විටත් ගින්න තෙවන සහ සිව්වන මහල් දක්වා පැතිර ගොස් අවසන්ය. පැය දෙකක දැඩි පරිශ්‍රමයකින් පසු ගින්න පාලනය කර දොළොස් දෙනෙකුට වැඩි පිරිසක් බේරා ගැනීමට සමත් වුවද, වයස අවුරුදු එකක බිළිඳෙකු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකුට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇත. මෙම ඛේදවාචකයේ වඩාත්ම සංවේදී පුවත වන්නේ දෙවන මහලේ සිටි එකම පවුලක පස් දෙනෙකු සහ තෙවන මහලේ සිටි තවත් පවුලක සාමාජිකයන් තිදෙනෙකු මෙලෙස මරණය වැළඳගෙන තිබීමයි.
මියගිය නවදෙනාගේම අනන්‍යතාවය මේ වන විට තහවුරු කර ඇති අතර, තුවාල ලැබූ තවත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. නිමේෂයකින් පවුල් දෙකක බලාපොරොත්තු සහ හීන අළු දූවිලි කර දැමූ මෙම ගින්න, ගොඩනැගිලිවල ගිනි ආරක්ෂණ විධිවිධාන පිළිබඳව බරපතල ප්‍රශ්නාර්ථයක් මුළු සමාජය හමුවේම ඉතිරි කර තිබේ. සුව නින්දේ සිටි අහිංසක දරුවෙකු ඇතුළු පිරිසකගේ අවසානය සනිටුහන් කළ මෙම මාරක ගින්න, ඕනෑම මොහොතක අපේ ජීවිතවලටත් මෙවැනි අනතුරක් එබී බැලිය හැකි බවට කරන දරුණුතම අනතුරු ඇඟවීමයි.














