හදිසි රෝගියෙකු රෝහල්ගත කිරීම සඳහා මාන්කුලමේ සිට සෙල්වපුරම් ගම්මානය දක්වා ගිය 1990 සුවසැරිය ගිලන් රථයකට ඉකුත් 02 වනදා සවස ප්‍රහාරයක් එල්ල වී තිබේ. රෝගියා රැගෙන යාමට ගිලන් රථය පැමිණීම ප්‍රමාද වූ බව පවසමින් රෝගියාගේ ඥාතීන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ හිතවතුන් පිරිසක් ගිලන් රථයේ රියදුරුට සහ සහායකවරයාට මෙලෙස පහර දී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගිලන් රථ රියදුරා සහ සහායකයා ප්‍රතිකාර සඳහා මාන්කුලම රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මේ වන විට පුද්ගලයන් හය දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ. අදාළ වරදකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.













