අපරාධ සහ විෂමාචාරයන්ට ළමුන් වැඩි වශයෙන් ගොදුරු වීම පාලනය කිරීම සඳහා විශේෂඥ නිර්දේශ මත නව නීති ගෙන ඒමට රජය සූදානම් වේ. ඒ අනුව අවුරුදු 12ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට සහ අවුරුදු 5ට අඩු දරුවන්ට ඩිජිටල් තිර භාවිතය සීමා කිරීමට සැලසුම් කර ඇත.
මෙම යෝජිත නිර්දේශ නීතිගත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ කිහිපයක් ඒකාබද්ධව විශේෂ කමිටුවක් පත් කර තිබේ. දරුවන් සයිබර් අපරාධවලින් සහ ඩිජිටල් තිරවලට ඇබ්බැහි වීමෙන් මුදා ගැනීම මෙහි අරමුණයි.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ එළඹෙන ජූලි මස 1 වැනිදා වන විට දිවයිනේ සියලුම පෙර පාසල් ලියාපදිංචි වීම හෝ ලියාපදිංචිය අලුත් කර ගැනීම අනිවාර්ය බවයි. ජූලි 1 වැනිදායින් පසු ලියාපදිංචි නොවූ ආයතනවල නම් ප්‍රසිද්ධ කිරීමට සහ දෙමාපියන් දැනුවත් කිරීමට පියවර ගැනේ.
ඊට අමතරව, සමස්ත දිවයිනටම බලපාන ‘ජාතික පෙර පාසල් ප්‍රඥප්තියක්’ කඩිනමින් හඳුන්වා දීමට නියමිත අතර, එමඟින් ගුරුවරුන්ගේ සුදුසුකම් සහ වැටුප් නියාමනය කිරීමටද අපේක්ෂා කෙරේ.














