වරාය පිවිසුම් මාර්ගය ඔස්සේ ගෝල්ෆේස් ලෝටස් වටරවුම අසලින් අධිවේගී මාර්ග ජාලය කොළඹ නගරයට සම්බන්ධ කිරීමටත්, එතැන් සිට මොරටුව දක්වා මැරීන් ඩ්‍රයිව් මුහුදු මාර්ගය ඔස්සේ වාහන ගමනාගමනය සඳහා මාර්ගය සකස් කිරීමටත් කටයුතු යොදා ඇති බව මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, වරාය පිවිසුම් මාර්ගය ඉදිකරන කොන්ත්‍රාත් සමාගම විවිධ හේතු දක්වමින් ව්‍යාපෘතිය ප්‍රමාද කරන බවත්, ව්‍යාපෘතියේ ආරම්භක සැලසුම්වල ගැටලු හේතුවෙන් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.
ඒ අනුව 2026 අගෝස්තු මාසය පමණ වන විට වරාය වෙත පිවිසුමේ ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන අතර වරාය පිවිසුම් මාර්ගයේ සිට ගෝල්ෆේස් ලෝටස් වටරවුම දක්වා කොටස වෙනත් කොන්ත්‍රාත් සමාගමක් වෙත ලබා දී 2027 වසරේ මැද භාගය වන විට එහි කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
ගෝල්ෆේස් ලෝටස් වටරවුමට අතිවිශාල වාහන සංඛ්‍යාවක් පැමිණීමෙන් ඇතිවන තදබදය පාලනය කිරීම සඳහා සක්‍යතා අධ්‍යයනයක් සිදුකරන අතර මොරටුව දක්වා මැරීන් ඩ්‍රයිව් මුහුදු මාර්ගය ඉදිකිරීම ඔස්සේ ඊට ස්ථිර විසඳුම් ලබාදීමට රජය සැලසුම් කර ඇත.














