පුත්තලම කොට්ටුකච්චිය කොට්ඨාසයේ එන්නුංගොඩ ගම්මානයට කඩා වැදුණු විස්සකට අධික වන අලි රංචුවක් ගම්මානයේ නිවාස සහ වගාබිම් රැසක් විනාශ කරමින් දැඩි භීෂණයක් මුදාහැර තිබේ. කිරලඔය රක්ෂිතයේ සිට පැමිණෙන මෙම අලි රංචුව රාත්‍රී කාලයේදී ගම්මානය පුරා සැරිසරමින් පොල් ගස් ඇතුළු බෝග වර්ග රැසක් විනාශ කරන බවත් මේ හේතුවෙන් ගම්මාන කිහිපයක ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බවත් වාර්තා වේ. එන්නුංගොඩ ගම්මානයේ පමණක් පොල් ගස් 50කට අධික සංඛ්‍යාවක් අලි රංචුව විසින් පෙරළා දමා ඇති බව ගම්වැසියෝ පවසති.
මෙහිදී අදහස් දැක්වූ ඉඩම් හිමියෙකු වන ජගත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ සිය පොල් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් වැය කරමින් විදුලි වැටක් ඉදිකළ ද වන අලි රංචුව විශාල ලී කොටන් එම වැට මතට දමා එය විනාශ කර ඇති බවයි. වන අලි රංචුව පලවා හැරීම සඳහා වනජීවී නිලධාරීන් කිහිප දෙනෙකු යෙදවීමට පියවර ගෙන ඇති බව පුත්තලම දිස්ත්‍රික් වනජීවී සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා සඳහන් කළද පවතින අවදානම තවමත් පහව ගොස් නොමැති බව ගම්වැසියෝ පෙන්වා දෙති.
වන අලි තර්ජනය නිසා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මෙන්ම එදිනෙදා ආදායම් මාර්ග ද අහිමි වෙමින් පවතින බව පවසන ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට කඩිනම් සහ ස්ථිරසාර විසඳුමක් ලබාදෙන ලෙසයි. පවතින තත්ත්වය හමුවේ රාත්‍රී කාලයේදී නිවෙස්වලින් බැහැරට යාමට පවා ගම්වැසියන් බියෙන් පසුවන අතර මෙම අලි-මිනිස් ගැටුම තවදුරටත් උග්‍ර වීමෙන් විශාල දේපළ හා ජීවිත හානි සිදුවීමේ අවදානමක් ද පවතින බව ඔවුහු වැඩිදුරටත් අවධාරණය කරති.














