මෙම වසරේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වීම සඳහා ඉරානය සූදානම් වුවද, ඒ වෙනුවෙන් ෆිෆා (FIFA) ආයතනයෙන් සහ සත්කාරක රටවලින් විශේෂ සහතික කිරීම් කිහිපයක් ඉරාන පාපන්දු සම්මේලනය විසින් ඉල්ලා තිබේ. ඉරාන පාපන්දු බලධාරීන් පවසන්නේ තම රටේ සංස්කෘතිය, විශ්වාසයන් සහ ගෞරවය ආරක්ෂා වන පරිදි තරගාවලිය සංවිධානය විය යුතු බවයි. පසුගියදා කැනඩාවේ පැවැති ෆිෆා සම්මේලනයට සහභාගී වීමට පැමිණි ඉරාන පාපන්දු සභාපති මෙහ්දි තාජ්ට එරටට ඇතුළු වීම තහනම් කිරීමත් සමඟ මෙම අර්බුදය උත්සන්න වී ඇත.
ඉරානය විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි 10 අතර සියලුම ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට සහ නිලධාරීන්ට බාධාවකින් තොරව වීසා බලපත්‍ර ලබා දීම ප්‍රධාන වේ. විශේෂයෙන්ම ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සමඟ සම්බන්ධතා පවත්වන බවට සැක කරන පුද්ගලයින්ට අමෙරිකාව සහ කැනඩාව පනවා ඇති සීමා ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි. මීට අමතරව ගුවන් තොටුපළවල්, හෝටල් සහ ක්‍රීඩාංගණ තුළ ඉරාන ජාතික ධජයට සහ ජාතික ගීය වෙනුවෙන් උපරිම ගෞරවය ලබා දිය යුතු බවත්, කණ්ඩායමේ ආරක්ෂාව දැඩි කළ යුතු බවත් ඔවුන් අවධාරණය කරයි.
කෙසේ වෙතත්, මෙම කොන්දේසි ඉටු කිරීම සම්බන්ධයෙන් ෆිෆා ආයතනය දැඩි අසීරුතාවයකට පත්ව ඇත්තේ වීසා සහ දේශසීමා පාලනය වැනි කරුණු අමෙරිකානු රජයේ නීතිමය තීරණ මත රඳා පවතින බැවිනි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසා ඇත්තේ ඉරාන ක්‍රීඩකයින් සාදරයෙන් පිළිගන්නා නමුත් ආරක්ෂක හේතූන් මත ඇතැම් පුද්ගලයින්ට සීමා පැනවීමට සිදුවනු ඇති බවයි. මැදපෙරදිග පවතින දේශපාලන නොසන්සුන්තාවය හමුවේ ක්‍රීඩාව සහ දේශපාලනය අතර පවතින මෙම ගැටුම විසඳා ගනිමින් ඉරානය ලෝක කුසලානයට සහභාගී කරවා ගැනීම ෆිෆා ආයතනයට විශාල අභියෝගයක් වනු ඇත.














