අමෙරිකාවේ ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ෆ්‍රොන්ටියර් එයාර්ලයින්ස් (Frontier Airlines) සමාගමට අයත් ගුවන් යානයක් ගුවන්ගත කිරීමට සූදානම් වන අවස්ථාවේදී ධාවන පථයට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු එහි ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ ගුවන් යානයේ එන්ජිමක ගින්නක් හටගෙන ඇති අතර පසුව එය ආරක්ෂිතව නිවා දැමීමට ගිනි නිවන අංශ සමත් විය. යානය තුළ දුම් පිරී ගියද එහි සිටි මගීන් 224 දෙනා හදිසි පිටවීමේ දොරටු හරහා ආරක්ෂිතව ඉවත් කර ගැනීමට කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත.
ගුවන් පාලක මැදිරිය සමඟ ඇතිවූ සංවාදවලට අනුව, යානය අධික වේගයෙන් ධාවනය වෙමින් පවතින අවස්ථාවේදී මෙම පුද්ගලයා ධාවන පථය හරහා ගමන් කර ඇති අතර, ගැටීමෙන් පසු නියමුවා වහාම ගුවන්ගත කිරීම අත්හිටුවා තිබේ. මියගිය පුද්ගලයා ගුවන් තොටුපළේ ආරක්ෂක වැටකින් පැන විනාඩි දෙකකට පමණ පසු මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ. මෙම සිදුවීමේදී මගීන් 12 දෙනෙකුට සුළු තුවාල සිදුවී ඇති අතර ඉන් පස් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
මෙම අනතුර හේතුවෙන් ගුවන් තොටුපළේ අදාළ ධාවන පථය තාවකාලිකව වසා දමා ඇති අතර අමෙරිකානු ගුවන් සේවා බලධාරීන් (FAA) සහ ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය (NTSB) සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. ආරක්ෂක වැටවල් පරීක්ෂා කිරීමේදී ඒවාට හානි සිදුවී නොමැති බවත්, අදාළ පුද්ගලයා හිතාමතාම තාප්පයකින් පැන මෙම අනතුරුදායක ක්‍රියාව සිදුකර ඇති බවත් ප්‍රවාහන බලධාරීන් පවසයි. මෙය අතිශය කණගාටුදායක සිදුවීමක් බවත් ගුවන් තොටුපළ ආරක්ෂාව පිළිබඳව වැඩිදුර අවධානය යොමු කරන බවත් බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේය.














