ගම්පොළ ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවය මෙවර පැවැත්වුණේ මුළු මහත් පාසල් ප්‍රජාවගේම නෙතට කඳුළක් එක් කරමිනි. සතුටු ජයඝෝෂා මැද වේදිකාවට ඇරයුම් ලැබුණේ සමස්ත ලංකා මට්ටමින් රන් සම්මානයක් දිනාගත් දිරිය දියණියකගේ නාමයයි. එහෙත් එම සම්මානය දෑතින් පිළිගැනීමට එම ජයග්‍රාහී දියණිය අද ජීවතුන් අතර නැත. 2025 වසරේ නව නිපැයුම් අංශයෙන් සමස්ත ලංකා රන් සම්මානය දිනාගත් එම්.ජී. චලනි සිදන්ගනා කුමාරතුංග දියණිය, මීට පෙර මෙරට වෙළාගත් ‘දිට්වා’ බිහිසුණු සුළි කුණාටුවට හසුවී අකාලයේ මෙලොව හැර ගොස් තිබීම මෙම ශෝකී වාතාවරණයට හේතු විය.
ඇයගේ ඒ සුවිශේෂී ජයග්‍රහණය අගයමින් විදුහල්පතිනිය ඇතුළු සංවිධායක මණ්ඩලය අපූරු තීරණයක් ගෙන තිබුණි. ඒ අනුව අකාලයේ මිලින වූ චලනී දියණිය වෙනුවෙන් පිරිනැමුණු රන් සම්මානය, එම පාසලේම ආදි ශිෂ්‍යාවක වන ඇයගේ ආදරණීය අක්කා වෙත පිරිනැමීම මෙහිදී සිදු විය. කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරන එම්.ජී. හිරුණි සඳුනිකා කුමාරතුංග තම නැඟණියගේ සම්මානය වේදිකාව මතදී දෑතට ගත් මොහොතේ මුළු ක්‍රීඩාංගණයම නිහඬ වූයේ කාගේත් හදවත් කම්පාවට පත් කරමිනි.
විදුහල්පතිනි එච්.එම්. පී. පී. හේරත් මහත්මිය පවසා සිටියේ චලනී යනු පාසල බැබළවූ රන් තරුවක් බවත්, ඇය ශරීරයෙන් සමුගත්තද ඇයගේ නාමය පාසල් ඉතිහාසයේ සදා අනුස්මරණීය වනු ඇති බවත්ය. එය හුදෙක් සම්මානයක් පිරිනැමීමක් නොව, අකාලයේ නිවී ගිය සොහොයුරියකගේ නොමැකෙන මතකය ගෞරවපූර්වකව සැමරීමක් විය. චලනී දැක්වූ මෙම දක්ෂතාවය අනාගතයේ පාසල් දියණියන්ට පෙරට යන්නට මහා ආලෝකයක් වනු නොඅනුමානය.














