ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට අත්වූ ඉරණම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල සෘජුවම වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්දා සුරවීර මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ කපිල චන්ද්‍රසේන මහතා යනු මුලින් සාමාන්‍ය රැකියාවක නිරතව සිටි පුද්ගලයෙකු වුවද රාජපක්ෂවරුන් විසින් ඔහුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ තනතුරුවලට පත් කර පසුව මහා පරිමාණ දූෂණයක් වූ ‘එයාබස්’ ගනුදෙනුවට ඈඳා ගත් බවයි.
මෙම එයාබස් ගනුදෙනුව ශ්‍රී ලංකාව තුළින් හෙළි වූවක් නොව ජාත්‍යන්තර මට්ටමින් අනාවරණය වූ හොරකමක් බවත් එහිදී අල්ලස් ලෙස ඩොලර් මිලියන දෙකක මුදලක් ලබා ගත් බවට එල්ල වූ චෝදනාව ලෝකයම හඳුනාගත් එකක් බවත් ඔහු අවධාරණය කළේය. මිනිස් ජීවිතයක් යනු කෙටි කාලයකට ලැබෙන දෙයක් බවත් එම කාලය තුළ සමාජයට ආදර්ශයක් වෙමින් ජීවත් විය යුතු බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා කපිල චන්ද්‍රසේන මහතා වැනි පුද්ගලයන් මෙවැනි අභාග්‍ය සම්පන්න සහ නින්දිත ඉරණමකට ඇද දැමුවේ රාජපක්ෂවරුන්ගේ දේශපාලන සංස්කෘතිය විසින් බව නැවතත් අවධාරණය කර සිටියේය.














