අමෙරිකා එක්සත් ජනපදය වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේදී පනවා තිබූ බාධා ඉවත් වී ඇති බවත්, විශේෂයෙන් මෙරට මුහුදු කකුළුවන් අපනයනය සඳහා අමෙරිකානු රජයේ නිල අනුමැතිය හිමිවී ඇති බවත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නිවේදනය කරයි. අමෙරිකානු “සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත” යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වීමත් සමඟ මෙම අවස්ථාව හිමිව තිබේ.
අමෙරිකානු National Oceanic and Atmospheric Administration (NOAA) ආයතනය විසින් තහවුරු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් ඇල්ලීමේ ක්‍රියාවලිය අමෙරිකානු ප්‍රමිතීන්ට අනුකූල බවයි. 2025 නොවැම්බර් මාසයේදී එල්ල වූ යම් යම් බාධා, ධීවර දෙපාර්තමේන්තුව සහ NARA ආයතනය ඉදිරිපත් කළ විද්‍යාත්මක දත්ත සැලකිල්ලට ගනිමින් මෙලෙස ඉවත් කර ඇත. මෙම නව අනුමැතිය හරහා අමෙරිකාවට මත්ස්‍ය නිෂ්පාදන අපනයනය සඳහා අත්‍යවශ්‍ය “ප්‍රමිති අනුකූලතා සහතිකය” (Comparability Finding) ශ්‍රී ලංකාවට හිමිවන අතර, මෙම නිල අනුමැතිය 2029 දෙසැම්බර් 31 වනදා දක්වා වලංගු වේ. එමෙන්ම මසුන් ඇල්ලීමේදී ඩොල්ෆින් සහ තල්මසුන් වැනි ක්ෂීරපායීන්ට හානි නොවන පරිදි ශ්‍රී ලංකාව අනුගමනය කරන පරිසර හිතකාමී ක්‍රමවේද මෙහිදී ජාත්‍යන්තර ඇගයීමට ලක්ව ඇත. මෙම ජයග්‍රහණය මෙරට ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම විදේශ විනිමය ඉපයීම ඉහළ නැංවීමට මහඟු පිටුවහලක් වනු ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














