ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ලබන 25 වන දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය. නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සාක්ෂි මෙහෙයවීමට ප්‍රථම, මෙම නඩුකරයට අදාළ පරිගණක උත්පාදිත ලේඛන සකස් කරන ලද පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියට අවස්ථාව අවශ්‍ය බවයි. සාක්ෂි ආඥා පනත යටතේ මෙතෙක් එවැනි අවස්ථාවක් හිමිව නැති බැවින් නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව, අදාළ පරිගණක පද්ධතිය පරීක්ෂා කිරීමට විත්තියට අවස්ථාව ලබා දෙන්නේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ස්ථාවරය මීළඟ නඩු වාරයේදී දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.














