දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් අතර පැතිර යන වෛරස් උණ රෝගයට මූලික හේතුව වෛරසය ජල මූලාශ්‍රවලට එක්වීම හෝ ආහාර අපිරිසිදු වීම බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහින්ද වික්‍රමසිංහ මහතා පවසයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය හා අධ්‍යාපන අංශ ඒකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය කෙරිණි. ඒ අනුව ග්‍රාමීය මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ක්ෂේත්‍ර පරීක්ෂණ දැඩි කිරීම සහ උණ රෝග ලක්ෂණ සහිත දරුවන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට උපදෙස් ලබා දී ඇත.
මීට අමතරව, දෙනියාය කලාපයේ සියලු පාසල් සහ පෙර පාසල්වල පන්ති කාමර, ජල ටැංකි සහ වැසිකිළි පද්ධති විධිමත් ලෙස විෂබීජහරණය කිරීමටත්, පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් අවධානය යොමු කර තිබේ.














