ඉරාන යුද්ධය හේතුවෙන් උද්ගතව ඇති භූ දේශපාලනික අස්ථාවරත්වය සහ ඉහළ යන ගුවන් ගාස්තු හමුවේ යුරෝපීය සංචාරකයන් සිය මෙවර ගිම්හාන නිවාඩු සැලසුම් සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට පියවර ගනිමින් සිටිති. පවතින අවදානම හමුවේ බොහෝ සංචාරකයන් සිය ප්‍රධාන සැලසුමට අමතරව ‘සැලසුම් B’ (Plan B) එකක් ද සූදානම් කර ගැනීමට පෙළඹී ඇති බව වාර්තා වේ.
ඉරාන යුද වාතාවරණයත් සමඟ බොරතෙල් මිල ඉහළ යාම සහ ගුවන් ඉන්ධන හිඟය හේතුවෙන් ගුවන් ගාස්තු අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් සංචාරකයන් දිගුකාලීන සංචාර වෙනුවට කෙටි දුර සංචාර සඳහාත්, ගුවන් යානා වෙනුවට විදුලියෙන් ක්‍රියා කරන දුම්රිය වැනි ප්‍රවාහන මාධ්‍ය සඳහාත් වැඩි කැමැත්තක් දක්වති. විශේෂයෙන්ම මැදපෙරදිග ගුවන් මාර්ගවලට බාධා එල්ල වීම නිසා සංචාරකයන් වඩාත් ‘ආරක්ෂිත’ ගමනාන්ත තෝරා ගැනීමටත්, අවසන් මොහොතේ වුවද අවලංගු කළ හැකි නම්‍යශීලී සැලසුම් සකස් කිරීමටත් උනන්දු වෙති.
ගුවන් සමාගම් ඉන්ධන මිල ඉහළ යාම නිසා දැඩි ලාභාංශ අර්බුදයකට මුහුණ දී සිටින අතර, සංචාරකයන් ද අතිශය කල්පනාකාරීව සිය මුදල් වැය කිරීමට පෙළඹී සිටිති. ‘රෝඩ්සර්ෆර්’ (Roadsurfer) වැනි වාහන කුලියට දෙන ආයතන පවසන්නේ සංචාරකයන් දැන් වඩාත් විචක්ෂණශීලීව සහ අවදානම කළමනාකරණය කරමින් සිය නිවාඩු සැලසුම් කරන බවයි.














