පරිසරයට හානිකර ලෙස කළු දුම පිටකරන සහ අධික ශබ්දයක් නිකුත් කරමින් ධාවනය වන වාහන පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් 070 3500525 යන විශේෂ වට්ස්ඇප් (WhatsApp) අංකය හඳුන්වා දී තිබේ. මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සහ නීති විරෝධී ලෙස වාහන නවීකරණය කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙහි මූලික අරමුණ වන අතර අදාළ වාහනයේ අංකය, සිද්ධිය වූ ස්ථානය සහ දිනය ඇතුළත් කර මෙම අංකයට තොරතුරු යොමු කළ හැකිය. මෝටර් වාහන ආඥා පනතට අනුව අධික ශබ්දයක් නිකුත් වන පරිදි සයිලන්සර් (Silencer) වෙනස් කිරීම, විවිධ වර්ණ සහිත හෝ නිවි නිවී දැල්වෙන අනතුරුදායක අමතර පහන් (Flashing lights) භාවිත කිරීම, ප්‍රමිතියෙන් තොර නළා (Horns) සවි කිරීම මෙන්ම වාහනවල බඳෙහි අනවශ්‍ය චිත්‍ර හෝ මෝස්තර ප්‍රදර්ශනය කිරීම දඬුවම් ලැබිය හැකි වැරදි වේ. මෑතකදී සිදුවූ රිය අනතුරු බොහොමයකට මෙවැනි නීති විරෝධී නවීකරණයන් සෘජුවම බලපා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇති බැවින් එවැනි වාහන පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දී සහාය වන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














