අමෙරිකානු රජය තම සාම සැලැස්ම පිළිගත යුතු බවත් එසේ නොවන්නේ නම් දැඩි අසාර්ථකත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඉරානය ප්‍රකාශ කර තිබේ. ඉරානය සමඟ පවතින සටන් විරාමය අවදානම් සහගත තත්ත්වයක පවතින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ අනතුරු ඇඟවීමෙන් පසුව ඉරානය මෙම ප්‍රතිචාරය දක්වා ඇත.
ඉරානය පෙන්වා දෙන්නේ කරුණු 14කින් සමන්විත තම සාම යෝජනාවලියට අනුව ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් පිළිගැනීම හැර අමෙරිකාවට වෙනත් විකල්පයක් නොමැති බවයි. අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කළ යුදමය තත්ත්වය මැදපෙරදිග පුරා පැතිර ගොස් ඇති අතර එය ගෝලීය ආර්ථිකයට මෙන්ම මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලට ද දැඩි බලපෑම් එල්ල කර තිබේ. යුද්ධය අවසන් කිරීමට සහ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට අමෙරිකානු රජය ද මීට පෙර යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත් දෙපාර්ශ්වයම විවිධ කරුණු ඉදිරිපත් කරමින් සිටීම හේතුවෙන් ස්ථීරසාර සාමයක් කරා යන ගමන දිනෙන් දින පසුබෑමට ලක්වෙමින් පවතී.














