උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ, ඌව පරණගම සහ හාලි ඇල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන් ඉඩම් සහ වන්දි ගැටලුවලට ස්ථිර විසඳුම් ලබා දීමට රජය පියවර ගෙන තිබේ. මීට පෙර සිදු කළ තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ජනතාව දැක්වූ විරෝධය සැලකිල්ලට ගෙන, නව විද්‍යාත්මක තක්සේරුකරණයකට අනුව මෙම වන්දි ගෙවීම් සිදු කෙරේ.
ව්‍යාපෘතියේ ජලාශ ඉදිකිරීමේදී ඉඩම් අහිමි වූ පුද්ගලයන් 276 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙහි මූලික පියවරක් ලෙස ඌව පරණගම සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 73ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 12 බැගින් වූ වන්දි චෙකපත් පිරිනැමීම ඊයේ (12) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු විය. කැබිනට් අනුකමිටුවක් විසින් ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම තීරණ ගෙන ඇති අතර මේ වන විටත් ප්‍රතිලාභීන් විශාල පිරිසක් අදාළ වන්දි මුදල් සම්බන්ධයෙන් එකඟතාව පළ කර ඇත. මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම වැඩපිළිවෙළ හරහා ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ඉඩම් හිමිකම් සහ වන්දි ගැටලු රැසක් කඩිනමින් විසඳීමට රජය අපේක්ෂා කරයි.















