තමන් කිසිදු අවස්ථාවක රුපියල් ලක්ෂ 12කට Vitz මාදිලියේ මෝටර් රථ ලබා දෙන බවට ප්‍රකාශයක් සිදු නොකළ බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා අවධාරණය කරයි. සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙම ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියේ එවැනි ප්‍රකාශ සිදු කරන්නේ “පිස්සන්” බවයි.
තමන් එවැනි පොරොන්දුවක් ලබා දුන් බව පවසන පිරිස් වෙත අභියෝග කරමින් ඔහු සඳහන් කළේ අවශ්‍ය නම් තමන් මීට පෙර සිදු කළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දර්ශන පරීක්ෂා කර බලන ලෙසයි. තමන් හෝ තම දේශපාලන කණ්ඩායම ජනතාවට කිසිදු අසත්‍යයක් ප්‍රකාශ කර නොමැති බව ඔහු සහතික විය.
මන්ත්‍රීවරුන්ට හිමිවන වාහන බලපත්‍ර සම්බන්ධයෙන් අදහස් දක්වමින් හේවගේ මහතා කියා සිටියේ වත්මන් රජයේ මන්ත්‍රීවරුන් 159 දෙනා එම බලපත්‍ර ලබා ගත්තේ නම් එක් අයෙකුට රුපියල් කෝටි 5ක පමණ වාසියක් ලැබිය හැකිව තිබූ බවයි. ජනතාව වෙනුවෙන් එම වරප්‍රසාදය අත්හළ බව ඔහු පෙන්වා දුන්නේය.
රජය නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයන් 4,000ක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනා අතරින් කිසිවෙකු හෝ වැරදි නොකරනු ඇතැයි තමන් සහතික නොවන බව පැවසූ අමාත්‍යවරයා, වැරැද්දක් කරන ඕනෑම අයෙකුට එරෙහිව පක්ෂ භේදයකින් තොරව වහාම පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය. “අද වැරැද්දක් කළොත්, හෙට අහුවුණොත්, අනිද්දා එළවනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















