උඩරට අමරපුර මහා නිකායේ මහානායක ධුරය දැරූ අතිපූජ්‍ය නුවරඑළියේ චන්දජෝති මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් හිස්වූ එම උත්තරීතර පදවිය සඳහා අභිනව මහානායක මාහිමිපාණන් ලෙස අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති නාහිමිපාණන් වහන්සේ තේරී පත්ව සිටිති. ශ්‍රී ලංකා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අනුපමේය මෙහෙවරක් ඉටුකරන උන්වහන්සේ වෙත මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහෝත්සවය 2026 මැයි මස 17 වන ඉරිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ සුරතින් සිදුකිරීමට නියමිතය. ශාසනික හා සාමාජීය වශයෙන් උන්වහන්සේ සිදුකර ඇති සුවිශේෂී කැපවීම ඇගයීමට ලක්වන මෙම අවස්ථාව, සමස්ත බෞද්ධ ජනතාවගේම ගෞරවාදරයට පාත්‍ර වන්නකි.
බදුල්ල දිස්ත්‍රික්කයේ නිකපොත ග්‍රාමයේ උපත ලබා 1962 වසරේදී සසුන්ගත වූ උන්වහන්සේ, ප්‍රාචීන, ප්‍රාරම්භ සහ මධ්‍යම යන විභාගයන් උසස් ලෙස සමත් වෙමින් ශාස්ත්‍රීය හා විනයානුකූල ශික්ෂණයෙන් පිරිපුන් භික්ෂුවක ලෙස ගොඩනැගුණි. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත් නාහිමිපාණෝ, මාදිවෙල ශ්‍රී ඤාණානන්ද බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කරමින් ශාසනික පුනරුදයක් ඇති කිරීමට පුරෝගාමී වූහ. ධර්ම විනයධර සුපේශල ශික්ෂාකාමී භික්ෂු පරපුරක් බුදු සසුනට දායාද කිරීම උදෙසා උන්වහන්සේ ඉටුකරන මෙහෙවර ජාතික මට්ටමින් ඇගයීමට ලක්විය යුතු සුවිශේෂී සාධකයකි.
උඩරට අමරපුර නිකායේ විනයාධිපති සහ මහෝපාධ්‍යාය වැනි උසස් තනතුරු හොබවමින් නිකායික අභිවෘද්ධිය උදෙසා අමිල මෙහෙවරක් ඉටුකළ උන්වහන්සේ, 2018 වසරේදී එම නිකායේ අනුනායක පදවියෙන් ද පිදුම් ලැබූහ. නිකායික ව්‍යවස්ථාවන් සංශෝධනය කරමින් සහ වාර්ෂික උපසම්පදා විනය කර්මයන් විනයානුකූලව මෙහෙයවමින් උන්වහන්සේ පෙන්වා ඇති නායකත්වය ශාසනයේ උන්නතියට මෙන්ම භික්ෂු විනය සුරැකීමට ද මහඟු පිටුවහලක් වී තිබේ. අභිනව මහානායක පදවියෙන් පිදුම් ලබන අතිපූජ්‍ය නිකපොත ශ්‍රී චන්දජෝති නාහිමිපාණන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිරජීවනය පතමු.
– ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත රූපහ සෝරත හිමි
කාරක සංඝ සභා සාමාජික
බස්නාහිර පළාතේ අධිකරණ සංඝ නායක
උඩරට අමරපුර පාර්ශ්වය














