සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් වෙසෙන බහුසංස්කෘතික ප්‍රදේශවල සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා පරිණත ආගමික නායකත්වයක මඟපෙන්වීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කළාය. ඇය මේ බව සඳහන් කළේ ආණමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත රාජවන්නි සහ කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් අද (13) ආණමඩුව සුදම්පායෙහි පැවති සන්නස් පත්‍ර පිළිගැන්වීමේ උත්සවය අමතමිනි.
නව සංඝනායක හිමියන් වසර 50ක පැවිදි දිවිය තුළත්, වසර 35ක ගුරු සේවය තුළත් ශාසනයට හා අධ්‍යාපනයට කළ මෙහෙවර අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඇගයීමට ලක් කළාය. එමෙන්ම පසුගිය වසරේ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීමේදී උන්වහන්සේ දැක්වූ ක්‍රියාකාරී නායකත්වය මෙන්ම පරමාකන්ද රජමහා විහාරය ඇතුළු ඓතිහාසික පුණ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමට ගන්නා උත්සාහය ද ඇයගේ ප්‍රශංසාවට ලක් විය. සහකම්පනයෙන් පිරි ජනතාවක් වෙසෙන නව පුනරුද යුගයක් කරා රට මෙහෙයවීමේදී මෙවැනි ප්‍රායෝගික ආගමික නායකයින්ගේ ආශිර්වාදය රජයට මහත් ශක්තියක් බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
මෙම උත්සවයේදී සංඝනායක ධුරය පිළිබඳ සන්නස් පත්‍රය අග්‍රාමාත්‍යවරිය විසින් පිළිගන්වන ලද අතර, විජිනිපත පිළිගැන්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලදී. මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පුණ්‍යෝත්සවයට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා, අමාත්‍ය චන්දන අබයරත්න, දියවඩන නිලමේ ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














