සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රවණතා, ඉදිරි ප්‍රවර්ධන සැලසුම් සහ සංචාරක වීසා මත පැමිණ සිදුකරන සයිබර් අපරාධ පිළිබඳව විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.
සංචාරක පැමිණීම අතින් 2025 වසර මෙන්ම 2026 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස ද ඓතිහාසික වාර්තා තැබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අඩාල වීම සහ රක්ෂණ මිල ගණන් ඉහළ යාම මත මාර්තු සහ අප්‍රේල් මාසවල සංචාරක පැමිණීමේ 20%ක අඩුවක් දක්නට ලැබුණ ද, 2025 වසරට සාපේක්ෂව දැනට පවතින්නේ 2%ක පමණ සුළු අඩුවක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය. වසර අවසානය වන විට සංචාරකයින් ලක්ෂ 30ක ඉලක්කය සපුරා ගැනීමට රජය අපේක්ෂා කරයි.
කෙටි කාලීන පියවරක් ලෙස ඉන්දියාව, චීනය, එංගලන්තය, රුසියාව, ජපානය, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් ඉලක්ක කර ගනිමින් රුපියල් බිලියනයක වියදමින් ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් සති තුනකින් ආරම්භ කිරීමට නියමිතය. මීට අමතරව, රුපියල් බිලියන පහක වියදමින් වසර කිහිපයක් පුරා ක්‍රියාත්මක වන ජාතික සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ද මේ වසර අවසානයේදී ආරම්භ කරන බව අමාත්‍යවරයා පැවසීය. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශාල ආයෝජන සිදු කරමින් පවතී.
සංචාරක වීසා මත මෙරටට පැමිණ විවිධ රටවල් ඉලක්ක කර ගනිමින් සයිබර් අපරාධවල නිරත වන විදේශිකයන් පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ලංකාවේ නීතියට අනුව පුරවැසියන් මෙන්ම විදේශිකයන් ද කටයුතු කළ යුතු බවත්, එවැනි වැරදිකරුවන් පිටුවහල් කිරීමට පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළේය.
සිංහරාජ වැසි වනාන්තරයේ දකුණු මායිම කේන්ද්‍ර කර ගනිමින් ‘සදාහරිත මිහිඳුම් ත්‍රිකෝණය’ නමින් නව සංචාරක කලාපයක් ඊයේ (14) ආරම්භ කරන ලදී. ස්වභාවික සෞන්දර්යය අත්විඳීමට කැමති ඉහළ වියදමක් දරන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම මෙහි අරමුණයි. ලියාපදිංචි සංචාරක ආයතනවලින් අය කරන බදු මුදල් කිසිදු අවභාවිතයකින් තොරව යටිතල පහසුකම් දියුණු කිරීම සඳහාම යොදවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














