ජනතාවට බරක් නොවී වියදම රජය දරාගෙන තිරසර බලශක්ති කළමනාකරණ ක්‍රියාවලියක් අනුගමනය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ 6 වන රැස්වීම අමතමින් ඇය මේ බව සඳහන් කළාය.
වෙසක් සතිය වෙනුවෙන් අවශ්‍ය පරිදි විදුලිය ලබාදීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබා දුන්නාය. රාජ්‍ය ආයතන තුළ බලශක්තිය ඉතිරි කිරීමේ අරමුණින් සෑම ආයතනයකටම බලශක්ති කළමනාකරුවෙකු පත් කිරීමටත්, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වැඩි වශයෙන් යොමුවීමටත් මෙහිදී තීරණය විය. මීට අමතරව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය ගොඩනැගිලි හරිත සංකල්පයට අනුව සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ද මෙහිදී වැදගත් කරුණු කිහිපයක් අනාවරණය විය. ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ඔත්තේ-ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ඉදිරියේදී ඉවත් කර, QR කේතය යටතේ ඉන්ධන ලබාදීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කර ඇත. එලෙසම ලබන අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත්, වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය මේ වන විටත් ඉල්ලුම් කර ඇති බවත් නිලධාරීන් මෙහිදී තහවුරු කළහ














