පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්‍රිගෝ දුතර්තේගේ පාලන සමයේ ක්‍රියාත්මක වූ මාරාන්තික “මතට එරෙහි යුද්ධයේ” (War on Drugs) දී මානව වර්ගයාට එරෙහිව අපරාධ සිදු කළ බවට චෝදනා ලැබ සිටින ප්‍රමුඛ පෙළේ සෙනෙට් සභිකයෙකු වන රොනල්ඩ් “බටෝ” දේලා රෝසා (Ronald “Bato” dela Rosa) අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය කළ ඉල්ලීමට තමන් අනිවාර්යයෙන්ම අවනත වන බව පිලිපීන අධිකරණ අමාත්‍යවරයා අද (15) ප්‍රකාශ කළේය.
හිටපු පොලිස් ප්‍රධානියා ද වන රොනල්ඩ් දේලා රෝසා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වාරැන්තුව වලංගු බවත්, එය ක්‍රියාත්මක කරන ලෙසට වන ඉල්ලීම පිලිපීනයට ලැබී ඇති බවත් අධිකරණ ලේකම් ෆ්‍රෙඩ්රික් විඩා (Fredderick Vida) තහවුරු කළේය. අත්අඩංගුවට ගැනීමේ බිය හේතුවෙන් සෙනෙට් මන්දිරයේ රැකවරණය ලබා සිටි දේලා රෝසා සෙනසුරාදා අලුයම ඉන් රහසිගතව පිටව ගොස් ඇති අතර, ඔහුගේ බිරිඳ එය “පලායාමක්” ලෙස හඳුන්වා තිබේ. ඔහුගේ වර්තමාන පිහිටීම මෙතෙක් අනාවරණය වී නොමැත.
දේලා රෝසා මෙරටින් පලා යාමට ගන්නා ඕනෑම උත්සාහයක් යුක්තිය උපහාසයට ලක් කිරීමක් ලෙස සලකන බවත්, ඔහු පලා යාමට උත්සාහ කළහොත් අත්අඩංගුවට ගන්නා ලෙස දැනටමත් නියෝග ලබා දී ඇති බවත් අධිකරණ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, 2019 වසරේදී පිලිපීනය රෝම සම්මුතියෙන් (Rome Statute) ඉවත් වූ බැවින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට තමන් සම්බන්ධයෙන් බලතල නොමැති බව පවසමින් දේලා රෝසා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හදිසි අභියාචනයක් ගොනු කර ඇති අතර, තමන් කිසිදු නීති විරෝධී ඝාතනයකට සම්බන්ධ වී නොමැති බව ඔහු පවසයි.













