ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) සංවර්ධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් / COPE) විසින් පසුගියදා අනු කාරක සභාවක් පත් කරන ලදී. මේ සම්බන්ධයෙන් පැවති රැස්වීම කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතාගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සුජීව සේනසිංහ, රුවන් මාපලගම සහ ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග යන මන්ත්‍රීවරු කටයුතු කරති. අදාළ සියලු පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් මාස දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට උපදෙස් දී ඇත.
ආයතනයේ පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් වීමේ සහ පාඨමාලා අවසන් කිරීමේ ප්‍රතිශතය අඩු මට්ටමක පවතින බව මෙහිදී අනාවරණය විය. ඩිප්ලෝමාධාරීන්ට උපාධි මට්ටම දක්වා (Top Up Degree) අධ්‍යාපනය ලැබීමට අවස්ථාවන් සලසා දීමේ සහ තාක්ෂණික පාඨමාලා සංඛ්‍යාව වැඩි කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය.
ආයතනය විසින් සිදුකරන පර්යේෂණ ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදයක් පවතින බව හෙළි වූ අතර, 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
දෙහිවල සහ මට්ටක්කුලිය උසස් තාක්ෂණ ආයතනවල 2017-2021 කාලයේ සවි කළ සූර්ය පැනල පද්ධති සඳහා විදුලි රැහැන් සවි නොකිරීම හේතුවෙන් ඒවා මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නොමැති බව සාකච්ඡා විය. මේවා සවි කළ ආයතන බංකොලොත් වී ඇති බැවින් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි වෙනත් ආයතන මගින් ඒවා කඩිනමින් පිළිසකර කිරීමට උපදෙස් ලබා දී ඇත.
මෙම රැස්වීම සඳහා දයාසිරි ජයසේකර, එස්. එම්. මරික්කාර් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.














