හැටන් දික්ඔය නගර සභාවේ පසුගිය මැයි 14 වන දින පැවති මාසික රැස්වීමේදී, පසුගිය මාසික සභා රැස්වීම් වාර්තාව සම්මත කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් සභාව මේ මස 21 වන දින දක්වා කල් තැබීමට එහි සභාපති (NPP) අසෝක කරුණාරත්න මහතා පියවර ගත්තේය.
රැස්වීම ආරම්භයේදී පසුගිය මාසික රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කළ අවස්ථාවේදී, නගර සභාවේ උප සභාපති සුරේන් මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් එම වාර්තාවේ විවිධ දෝෂ සහ වැරදි පවතින බව පෙන්වා දුන්හ. මෙයට පෙරද මාසික රැස්වීම් වාර්තාවල මෙලෙස දෝෂ පැවති බවත්, එය දිගින් දිගටම පවත්වාගෙන යාමට ඉඩ දිය නොහැකි බවත් මන්ත්‍රීවරු මෙහිදී ප්‍රකාශ කර ඇත.
මන්ත්‍රී අලගමුත්තු නන්දකුමාර් මහතාගේ යෝජනාවක් මත මෙම රැස්වීම කාරක සභාවක් බවට පත් කර දෝෂ පිළිබඳව සාකච්ඡා කෙරිණි. අනතුරුව සභාපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් 15 දෙනා වෙනම ස්ථානයකට ගොස් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කළහ.
සාකච්ඡාවෙන් පසු නැවත රැස්වීම ආරම්භ වූ අතර, පවතින දෝෂ පිළිබඳව මැයි 15 දින දහවල් 12:00ට පෙර ලිඛිතව ලබා දෙන ලෙස සභාපතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව සභා රැස්වීම මැයි 21 දින දක්වා කල් දමන ලදී.
මාස 3ක පමණ කාලයක් තිස්සේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් විවිධ චෝදනා නගමින් සභා රැස්වීම් කල් දැමීම හේතුවෙන් නගර සභා සීමාවේ සංවර්ධන කටයුතු රාශියක් ඇනහිට ඇති බව සභාපති අසෝක කරුණාරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.














