ලෝකවාසී ජනතාව පාරිසරික සංරක්ෂණය උදෙසා අවදි කළ ජගත් පරිසර දිනය මෙවර 54 වන වරටත් 2026 ජුනි මස 05 වැනිදා පැවැත්වීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සැමරුමට සමගාමීව මැයි 30 සිට ජුනි 05 දක්වා කාලය “ජාතික පරිසර සතිය” ලෙස ප්‍රකාශයට පත් කරමින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
මෙවර ගෝලීය තේමාව වන්නේ “Urgent Climate Action” (කඩිනම් දේශගුණික ක්‍රියාකාරීත්වය) යන්නයි. ඒ අනුව ශ්‍රී ලංකාව “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව “දලුලන්න ඉඩදෙන්න” නමින් ප්‍රායෝගික වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවනු ලබයි.
හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සහ ඉහළ යන ගෝලීය උෂ්ණත්වය කළමනාකරණය සඳහා 2025 වසරේදී ලබා දුන් පාරිසරික පොරොන්දු ප්‍රායෝගිකව සාර්ථක කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
ජාතික පරිසර සතිය තුළ දිනපතා පහත සඳහන් ක්ෂේත්‍ර ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක වේ
ආකල්ප ප්‍රවර්ධනය සහ පවිත්‍රතා වැඩසටහන්.
වායු දූෂණය පාලනය සහ ජල සංරක්ෂණය.
ජෛව විවිධත්වය සුරැකීම සහ වෙරළ පවිත්‍ර කිරීම.
රුක් රෝපණය සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය.
ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ඩිජිටල්කරණය.
මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයෙන් ලද අත්දැකීම් පාදක කරගනිමින්, මධ්‍යම කඳුකරයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ සහ පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීමට විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ හරහා අනාගත දේශගුණික කම්පනවලට ශක්තිමත්ව මුහුණ දිය හැකි පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි.
රාජ්‍ය හා පෞද්ගලික අංශය, තරුණ ප්‍රජාව සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව මෙම ජාතික වගකීමට සක්‍රීයව දායක වන ලෙස පරිසර අමාත්‍යාංශය ඉල්ලා සිටියි.














