දිවයිනට ඊසාන දෙසින් බංගලා බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථායීව පවතින බව අද (16) උදෑසන නිකුත් වූ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. මෙම පද්ධතියේ වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැඩි අවධානයෙන් පසුවන අතර, මෙහි බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අඛණ්ඩව වැසි සහිත කාලගුණයක් පවතිනු ඇත.
විශේෂයෙන්ම අද පස්වරු 1.00 න් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ඇති විය හැකියි. මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.














