මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ආපදා වන්දි මුදල් ලබා දීමේදී රජයේ නිලධාරීන් පිරිසක් මැදිහත් වී මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ සිදුකර ඇති බවට ප්‍රදේශවාසීන්ගෙන් බරපතළ චෝදනා එල්ල වී තිබේ. ඇතැම් නිලධාරීන් වන්දි මුදල් ලබා දීම සඳහා බලහත්කාරයෙන් කොමිස් මුදල් ලබා ගන්නා බවත්, රුපියල් ලක්ෂ ගණනින් මෙලෙස මහජන මුදල් සාක්කුවේ දාගෙන ඇති බවත් හෙළිදරව් වී ඇත.
මෙම වංචාවට ලක්වූ එක්තරා කාන්තාවක් පවසන්නේ තමන්ට ලැබුණු රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල බැංකුවෙන් ලබා ගන්නා අවස්ථාවේදී, අදාළ සහන සේවා නිලධාරියා තමන් සමඟ බැංකුවට පැමිණ ඉන් රුපියල් ලක්ෂයක මුදලක් “තම කොමිස් මුදල” ලෙස පවසමින් බලහත්කාරයෙන් ලබාගත් බවයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි ඉදිරිපත් වීමත් සමඟ, අදාළ නිලධාරියා එම කාන්තාවගේ නිවසට ගොස් මුදල් නැවත ලබා දෙන පොරොන්දුව මත පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නා ලෙස බලපෑම් කර ඇති බවද වාර්තා වේ. තමාගේ වැඩ තහනම් විය හැකි බැවින්, අදාළ මුදල් කොට්ටය හෝ මෙට්ටය යට තිබී හමුවූ බව පවසන ලෙස එම නිලධාරියා ඇයට උගන්වා ඇති බවද ඇය වැඩිදුරටත් අනාවරණය කළාය.
මීට අමතරව මදුරුකැටිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා ද සිය ගජමිතුරන් මාර්ගයෙන් වන්දි ලාභීන්ගෙන් කොමිස් මුදල් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණය වී තිබේ. රුපියල් ලක්ෂ 50ක වන්දියක් ලබා දීම සඳහා ලක්ෂ 10ක කොමිස් මුදලක් ඉල්ලා ඇති බවත්, ඇතැම් විට ලැබුණු සුළු වන්දි මුදලින් පවා රුපියල් 50,000 බැගින් ලබාගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. කිසිදු හානියක් සිදු නොවූ නිවාස සඳහා පවා හිතවත්කම් මත රුපියල් ලක්ෂ 50 බැගින් වන්දි ලබා දී ඉන් කොටසක් නිලධාරීන් ලබාගෙන ඇති බවට දූෂණ චෝදනා එල්ල වී ඇති අතර, මෙම මහා පරිමාණ වංචාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.















