බුද්ධ රශ්මි වෙසක් කලාපය සංවිධානය කිරීම සහ ඒ හා සම්බන්ධ බලශක්ති භාවිතය පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (20) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී රජය විසින් ඉන්ධන හා විදුලිය භාවිතය සඳහා පනවා තිබූ රෙගුලාසි වෙසක් උත්සව කාලසීමාව තුළ ලිහිල් කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කෙරිණි. වෙසක් කලාපයේ කටයුතු සාර්ථකව සම්බන්ධීකරණය කිරීම සඳහා පත් කළ කමිටුවල නිලධාරීන්ගෙන් තොරතුරු ලබා ගැනීම ද මෙහිදී සිදු විය.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්ධන හා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට තීරණය කර ඇති අතර, අවම ඉන්ධන හා විදුලි පිරිවැයක් යටතේ ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් සැදැහැවතුන්ගේ සිත් පහන් කරවන පරිදි වෙසක් අසිරිය ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇත. කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ, මෙවර වෙසක් කලාපය රාත්‍රී 7.00 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
මෙම සාකච්ඡාව සඳහා ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේ, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, බලශක්ති අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
















