පසුගිය වසර කිහිපය තුළ වැඩිම ණය මුදලක් ගෙවූ වසර ලෙස 2025 වසර හඳුන්වා දිය හැකි බවත්, එම වසර තුළ පමණක් ඩොලර් මිලියන 5100කට ආසන්න මුදලක් ණය ආපසු ගෙවීමට රජය කටයුතු කළ බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මගින් රටේ ගමන් මඟ සම්බන්ධයෙන් නිවැරදි දිශානතියක් පෙන්වා දෙන බවයි. රටේ ආර්ථික වර්ධනය ඍණ අගයක පැවතියද, එය මේ වන විට සියයට 5ක ආර්ථික වර්ධන වේගයක් දක්වා වර්ධනය කර ගනිමින් ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට රජයට හැකි වී තිබේ. සාමාන්‍ය උද්ධමනය සියයට 40ක් දක්වා ඉහළ ගොස් පැවති සමයක ජන ජීවිතයට එයින් එල්ල වූ අහිතකර බලපෑම් අවම කිරීමට රජය ප්‍රමුඛත්වය ලබා දුන්නේය.
මෙරට ජනගහනයෙන් සියයට 24.2ක් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන බැවින්, ගොවි ජනතාවගේ ජීවිත ගැන සිතා රජය කටයුතු කළ බව ද ඇමැතිවරයා සඳහන් කළේය. ලෝක වෙළෙඳපොළේ පොහොර මිල අසීමිත ලෙස ඉහළ ගිය ද, ජනතාවට සහනාධාර ලබා දෙමින් පොහොර ලබා දීමටත්, ඒ සඳහා වූ පොහොර සහනාධාරය දෙගුණයකින් වැඩි කිරීමටත් පියවර ගෙන ඇත. ගොවි ජනතාවගේ ජන ජීවිතය ගැන සිතා කටයුතු කළ වර්ෂයක් ලෙස 2025 වසර හැඳින්විය හැකි බවත්, එතරම් විශාල ණය බරක් ආපසු ගෙවීමට කටයුතු කරමින් වුවද ජනතා සහන වෙනුවෙන් කැපවූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














