පොහොසත් රටක් ගොඩනඟමින් රටේ ජනතාවට සුන්දර ජීවිතයක් උරුම කර දීමට වත්මන් ආණ්ඩුව කැපවී කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ යහපත් මූල්‍ය විනයක් පැවති වසරක් ලෙස 2025 වසර ඉතිහාසගත වන බවයි. වියදමට වඩා ආදායම වැඩිකර ගනිමින් ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කරගැනීමට වත්මන් රජයට හැකි වී තිබේ. මෙතෙක් කලක් මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් විද්වතුන් සහ විශේෂඥයන් විසින් ගොඩනඟා තිබූ අශුභවාදී මතවාදය, එනම් වියදමට වඩා ආදායම වැඩි කළ නොහැකි බවට පැවති මතය, ජාතික ජන බලවේගයේ පාලනය යටතේ සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හැකි වූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙරට පැවති දශක ගණනාවක අශුභවාදය ඉවත් කර ශුභවාදී ආර්ථික දැක්මක් ස්ථාපිත කිරීම රටේ ජනතාව ලද ජයග්‍රහණයක් බවත්, ආර්ථිකය ප්‍රායෝගිකව කළමනාකරණය කරන ආකාරය පිළිබඳ අත්දැකීම් රටට ලබා දීමට රජයට හැකි වූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 2022 වසරේදී නිර්මාණය වූ දැවැන්ත ආර්ථික අර්බුදයත් සමඟ ජනතාව අපේක්ෂා කළ වැරදි දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට වත්මන් රජය සමත් වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විපක්ෂය පවසන ආකාරයේ ජනතා නැඟිටීමක් රටේ ඇති නොවන බව ද අවධාරණය කළේය.














