සීදූව පොලිස් වසමට අයත් මූකලන්ගමුව ප්‍රදේශයේ පාළු නිවසකින් අදික ලෙස දුර්ගන්ධයක් හමන බවට ඊයේ (20) දින සීදූව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ හදිසි වැටලීමකදී, නිදන කාමරයක තිබූ ගමන් බෑගයක් (Travel Bag) තුළ සඟවා තිබූ වයෝවෘද්ධ කාන්තා මළසිරුරක් සොයාගෙන තිබේ. මෙලෙස අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මූකලන්ගමුව, සීදූව ලිපිනයේ පදිංචිව සිටි 79 හැවිරිදි මවකි.
පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මරණකාරිය අදාළ නිවසේ තනිවම පදිංචිව සිට ඇති බවයි. අපරාධකරුවන් විසින් ඉතා සූක්ෂ්ම ලෙස මෙම ඝාතනය සිදුකර ඇති අතර, සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් නිවසේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතිය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කර තිබේ. එමෙන්ම නිවසේ තිබූ ස්ථාවර දුරකථන රැහැන් ද කපා දමා ඇති බව පොලිසිය නිරීක්ෂණය කර ඇත. මෙම දරුණු මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (21) දින සිදුකිරීමට නියමිතය. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන වහාම අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලිසිය විසින් ප්‍රදේශය පුරා පුළුල් විමර්ශන රැසක් ආරම්භ කර තිබේ.














