ශ්‍රී ලංකා පොලිස් සේවයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) පවතින ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් සහ පොලිස් කොස්තාපල් රියැදුරු තනතුරු සඳහා නවකයන් බඳවා ගැනීමට අදාළව අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ. 2026 මාර්තු 27 වැනි දිනැති අංක 2482 දරන රජයේ ගැසට් පත්‍රය මඟින් මෙම බඳවාගැනීම් සඳහා මුලින් අයදුම්පත් කැඳවා තිබූ අතර, එහිදී මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලෙස සඳහන්ව තිබුණේ 2026 මැයි 08 වැනිදාය.
කෙසේ වෙතත්, 2026 මැයි 15 වැනි දිනැති අංක 2489 දරන නවතම රජයේ ගැසට් පත්‍රය මඟින් ඉහත තනතුරු සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026 ජූන් මස 01 වැනිදා දක්වා දීර්ඝ කර ඇත. මේ පිළිබඳව යම් ගැටලුවක් පවතින්නේ නම් පොලිස් ආධුනිකයින් බඳවාගැනීමේ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සම්බන්ධ කරගත හැකි දුරකථන අංක ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත දුරකථන අංක භාවිත කළ හැකිය:
ස්ථානාධිපති / පොලිස් ආධුනිකයින් බඳවාගැනීමේ කාර්යාංශය: 071-8591925
කාර්යාලීය දුරකථන අංක: 011-2505202 / 011-2552953
















