ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) දරන වසර බවට 2027 වසර පත් කරමින්, ඒ සඳහා රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රුපියල් මිලියන 1,744.85ක වියදමින් ඉදිකෙරෙන අම්පාර බහුකාර්ය නගර ශාලාවේ වැඩකටයුතු අද (22) පෙරවරුවේ ආරම්භ කරමිනි.
ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළ ප්‍රධාන කරුණු මෙසේය:
මූල්‍ය කළමනාකරණය සහ ශක්තිමත් භාණ්ඩාගාරය:
පවතින යහපත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් මේ වන විට භාණ්ඩාගාරය සතුව ශක්තිමත් ධන තැන්පතුවක් පවතින බව ජනාධිපතිවරයා හෙළි කළේය. 2022-2023 සමයේ රුපියල් බිලියන 800ක බැංකු අයිරාවක් (Overdraft) සහිතව ණයට ක්‍රියාත්මක වූ භාණ්ඩාගාරය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට රජය සමත්ව ඇති අතර, ඒ නිසාම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් උපරිම ප්‍රතිපාදන වෙන් කිරීමට හැකියාව ලැබී තිබේ.
ව්‍යාපෘති ප්‍රමාද වීමේ පාඩුව සහ නිලධාරීන්ගේ වගකීම:
ව්‍යාපෘති නිසි කලට අවසන් නොකිරීම නිසා රුපියල් බිලියන 300ක් වැය වීමට තිබූ ප්‍රධාන ව්‍යාපෘති කිහිපයකට බිලියන 600ක දැවැන්ත පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අම්පාර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා 2026 වසරට රුපියල් මිලියන 22,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, වෙන් කරන මුදල් අදාළ මූල්‍ය වර්ෂය තුළම නිසි ලෙස කළමනාකරණය කරමින් ජනතා අයිතියට පත් කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ සෘජු වගකීමක් බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.














