පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආශ්රිත ප්රවෘත්ති කිහිපයක් පසුගිය දිනවල අප ෆේස් බුක් පිටුවේ සහ වෙබ් අඩවියේ පලකල වහාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉහල බලධාරීන් අසාමාන්‍ය කලබලයකට පත්ව එයට එරෙහිව විවිධ පියවරයන් සදහා කැස කවමින් සිටින බව වාර්තාවේ.
ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විසින් කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බව කියැවෙන නමුත් එකී මාධ්‍ය නිවේදනය මේ වන තෙක් අප වෙත නම් නොලැබුන බව කණගාටුවෙන් යුතුව කිව යුතුව තිබේ.
”හොරාට ඉස්සරවෙලා කෙහෙල් කැණ වැට පැන්නා වාගෙයි!” යනුවෙන්ද, ”පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන්ද ආදී වශයෙන් වන අපූරු ප්‍රස්ථාව පිරුළු රාශියක් සිංහල භාෂාවේ අඩංගුව තිබෙන බව අප මෙහි සටහන් කරන්නේ නිකමටය. මහාචාර්ය මධුජිත් විසින් නිකුත් කල බව කියන මාධ්‍ය නිවේදනයට ඒවායේ සම්බන්ධයක් නැත.
වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙසට අපට පේරාදෙණියේ සුධීමතුන්ට කිවහැක්කේ මෙපමණකි.මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරමින් සහ ඊට ගරු කරමින් අප විසින් හෙලිදරව් කල ප්රවෘත්ති සියල්ල පිලිබදව ප්‍රමාණවත් සාක්ෂි සාධක සහිතව අප විසින් එම තොරතුරු මහජනතාවගේ දැනගැනීම උදෙසා ප්‍රසිද්ධ කර තිබෙන්නේ එහි සීමා මායිම් සහ වගකීම පිලිබද නිසි අවබෝධයකින් යුක්තවය.
එම නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු බලධාරීන් සිදුකල යුත්තේ එකී හෙලිදරව් කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර වරදක් සිදුව ඇත්නම් නිවැරදි කිරීමට කටයුතු කිරීමය.
එසේ සිදු නොකර ”සඳ පෙන්වූ විට ඇගිල්ල දෙස බලා උඩු බිරීම” වැනි අණුවන ක්‍රියා බුද්ධිමත් රාජ්‍ය සේවකයන් විසින් සිදුකිරීම නොමනාය.
මතු සම්බන්ධයි…
















