අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අවට මෑතකදී සිදු කරන ලද ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් බෝධීන් වහන්සේගේ ජීවයට හානි විය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවයි. බෝධිය වටා ඇති වැලි මළුව සම්පූර්ණයෙන්ම ටෙරාකොටා ටයිල් යොදා ආවරණය කිරීම මෙම අවදානමට ප්‍රධාන හේතුව බව මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර පෙන්වා දෙයි.
මෙම තාක්ෂණික ගැටලුව සම්බන්ධයෙන් මහාචාර්යවරයා දක්වන කරුණු අතර ප්‍රධාන වන්නේ තාප අසමතුලිතතාවයි. වැලි තලාව මත ටෙරාකොටා ඇතුළත් කිරීම නිසා සූර්ය තාපය පෘථිවියට උරා ගැනීම වෙනුවට බෝධීන් වහන්සේ දෙසට පරාවර්තනය වීමක් සිදු වේ. මෙය බෝධීන් වහන්සේට දරාගත නොහැකි අධික තාපයක් සහ විකිරණ තත්ත්වයක් ඇති කරයි. එසේම ස්වාභාවික වැලි තලාව තිබූ කාලයේ පැවති පරිසර හිතකාමී තත්ත්වය මෙම ටෙරාකොටා ඉදිකිරීම් නිසා දැඩි ලෙස වෙනස් වී ඇති බව මහාචාර්යවරයා අවධාරණය කරයි.
මෙම ඉදිකිරීම් නැවත සලකා බැලිය යුතු බවත්, පුළුල් පාරිසරික හා තාප තක්සේරුවක් සිදු කළ යුතු බවත් ඔහු සිය වාර්තාව හරහා නිර්දේශ කර ඇත. ගසේ මුල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාණවත් විවෘත පාංශු කලාප පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.
මෙම ප්‍රතිසංස්කරණය සඳහා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ පූර්ණ අවසරය ලබාගෙන නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් වික්‍රමසිංහ පවසයි. ආබාධිත බැතිමතුන් සඳහා යෝජනා වූ මාර්ගයක් වෙනුවට සම්පූර්ණ මළුවම ටෙරාකොටා ඇල්ලීම සම්බන්ධයෙන් මේ වන විට පේරාදෙණිය උද්භිත උද්‍යානයේ විශේෂඥයින්ගේ නිර්දේශ විමසා ඇත. එම නිර්දේශ මත බෝධියට හානියක් සිදුවන බව තහවුරු වුවහොත්, අදාළ ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි. වසර 2200කට අධික ලිඛිත ඉතිහාසයක් ඇති, ලොව පැරණිතම වෘක්ෂය ලෙස සැලකෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු බව විද්වතුන්ගේ මතයයි.
















