සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසන්නේ, තමන්ව පාස්කු ප්‍රහාරයට සහ විවිධ අපරාධවලට සම්බන්ධ කිරීමට ඇතැම් පිරිස් සැලසුම් සහගතව උත්සාහ දරන බවයි. මාධ්‍ය මගින් තමන් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වාර්තා කරමින් සිය කීර්ති නාමය විනාශ කිරීමට උත්සාහ දරන බවත්, රජයේ ප්‍රබල නිලධාරීන් කිහිප දෙනෙකු ද මෙයට සම්බන්ධ බවත් ඒ මහතා චෝදනා කරයි.
තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දුන් අතර, කිසිදු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් තමන්ට චෝදනාවක් එල්ල වී නොමැති බව ඔහු අවධාරණය කළේය. වාර්තා වී ඇති පරිදි අදාළ දුරකථන ඇමතුම් ලැබී ඇත්තේ තමන්ට හිතවත් පුද්ගලයෙකුට බවත්, මාධ්‍ය විසින් එය තමන්ට ලැබුණු ඇමතුම් ලෙස අසත්‍ය ලෙස වාර්තා කර ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය. මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරියෙකුගේ මූලිකත්වයෙන් බවද රහුමාන් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව වත්මන් ආණ්ඩුව සහ මාලිමා ව්‍යාපාරය තුළ පවතින අභ්‍යන්තර බෙදීම් පිළිබඳව ද මන්ත්‍රීවරයා අදහස් පළ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා සහ මාලිමාවේ අනෙකුත් පාර්ශ්ව අතර අදහස් ගැටුම් පවතින බවත්, මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රධානීන් පරස්පර ප්‍රකාශ සිදු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රහුමාන් මහතා, වෙළෙඳපොළ තුළ පැවති ඩොලර් හිඟයට විසඳුමක් ලෙස මහා බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් මුදා හැරීමට පියවර ගෙන ඇති බවද සිහිපත් කළේය.
















