ගල්අඟුරු ආනයනයේදී සිදුවූ මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි සහ තොරතුරු 28ක් ලැබී තිබේ. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනයෙන් රජයට සිදුවූ හානිය තක්සේරු කර, ඊට වගකිව යුතු දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග යෝජනා කිරීම මෙම කොමිසමේ කාර්යභාරයයි. පැමිණිලි භාරගැනීම පසුගිය 22දායින් අවසන් වූ අතර, ජාතික ජන බලවේගය විසින් පැමිණිලි 10කට ආසන්න සංඛ්‍යාවක් ද, සමඟි ජන බලවේගය නියෝජනය කරමින් මුජිබර් රහුමාන් සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් ද පැමිණිලි ගොනු කර ඇත.
කොමිසමේ සහායට පත්කළ විශේෂ පොලිස් කොට්ඨාසය මේ වන විට විගණන වාර්තා සහ පැමිණිලි පාදක කරගනිමින් ලංකා ගල්අඟුරු සමාගම, ලක්විජය බලාගාරය සහ අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් කැඳවා ප්‍රකාශ සටහන් කරගනිමින් සිටී. විමර්ශන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් චන්ද්‍රා වාකිස්ට ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද කොමිසමට අනුයුක්ත කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිෂන් සභාවේ සමස්ත විමර්ශන කටයුතු මාස හයක් ඇතුළත අවසන් කර අවසන් වාර්තාව ලබාදීමට නියමිතය.
















