මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ප්‍රවේශ වන මාර්ග පුනරුත්ථාපන හා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද බෝගම්බර පදික උමං මාර්ගය මහජනතාවගේ පරිහරණය සඳහා ඊයේ (27) විවෘත කරන ලදී. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්විණි.
මගීන් ප්‍රධාන මාර්ග හරහා ගමන් කිරීම හේතුවෙන් නගරය තුළ ඇති වන අධික වාහන තදබදය අවම කිරීම සහ පදිකයන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීම අරමුණු කර ගනිමින් මෙම උමං මාර්ගය ඉදිකර තිබේ. මේ සඳහා වැය කර ඇති සමස්ත මුදල රුපියල් ලක්ෂ 658කි. මෙම අවස්ථාවට මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක සහ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
















