කාන්තා සෞඛ්‍යය යනු හුදෙක් කාන්තාවන්ට පමණක් සීමා වූ ගැටලුවක් නොව, එය සෑම පවුලකම පැවැත්මේ අඩිතාලම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ලෝක ඔසප් සනීපාරක්ෂක දිනය (World Menstrual Hygiene Day) නිමිත්තෙන් සිය නිල සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව අවධාරණය කළේය.සියලු දෙනා රැකබලා ගන්නා කාන්තාවන්ට, තමන්ගේම සෞඛ්‍යය සහ යහපැවැත්ම නොසලකා හැරීමට සිදු නොවිය යුතු බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා, මව්වරුන් සහ දියණියන් විඳින වේදනාවන් නිහඬව දරාගත යුතු යැයි අපේක්ෂා කරන සමාජයක් අප ගොඩනඟන්නේ කුමකටදැයි ප්‍රශ්න කරයි.
තවදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ තමන් ගැන සැලකිලිමත් වන කාන්තාවන්ට සමාජය තුළ ඉහළ ගෞරවයක් හිමිවිය යුතු බව.ඔවුන්ට සහයෝගය දක්වන පිරිමින් උපහාසයට ලක් නොකර, එම ක්‍රියාව අගය කළ යුතු බව.මානුෂීය සමාජයකින් ‘ඔසප් දරිද්‍රතාවය’ (Period Poverty) නමැති කටුක යථාර්ථය සහමුලින්ම තුරන් කළ යුතු බව.සෑම වසරකම මැයි 28 දින සමරනු ලබන මෙම ජාත්‍යන්තර දිනය, ඔසප් වීම පිළිබඳ සමාජයේ පවතින අනවශ්‍ය ලැජ්ජාව සහ මිථ්‍යා මත දුරු කරමින්, කාන්තාවන්ට සහ දියණියන්ට ගෞරවනීය මෙන්ම සුරක්ෂිත සෞඛ්‍ය කළමනාකරණයක් සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම අරමුණු කරගනී.
















