කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර ක්‍රියාත්මක වන සුඛෝපභෝගී බස් රථ සේවාව අද (01) සිට යළි ආරම්භ කර තිබේ. දේශීය සහ විදේශීය මගීන් සඳහා කාර්යක්ෂම, සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශවල මගපෙන්වීම මත මෙම සේවාව ක්‍රියාත්මක කෙරේ.
මගීන්ට උසස් තත්ත්වයේ සේවාවක් සහතික කිරීම සඳහා රියදුරන් සහ කොන්දොස්තරවරුන් විශේෂ පුහුණුවකට ලක් කර ඇති අතර, ගමනාගමන පහසුව සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කර ඇත. මෙම සේවාවේ එක් ගමන් වාරයක ගාස්තුව රුපියල් 410ක් වන අතර, ගමන් කාලය මිනිත්තු 50ක් ලෙස සැලසුම් කර තිබේ.
දෛනිකව උදෑසන 5.15 සිට සවස 6.30 දක්වා සෑම විනාඩි 45කට වරක් මෙම බස් රථ ධාවනය කිරීමට නියමිතය. මෙම සේවාව මගින් ගුවන්තොටුපළ සහ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන අතර සම්බන්ධතාවය ශක්තිමත් කෙරෙන අතර, එය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට සහ රටේ ආර්ථික ක්‍රියාකාරකම්වලට ධනාත්මක දායකත්වයක් ලබා දෙනු ඇතැයි අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
















