ජාතික පොසොන් කමිටුව නිවේදනය කරන්නේ මෙවර පොසොන් සතිය “අරහත් මිහිඳු මා හිමි ගුණ බලයෙන් යුද ගිනි නිවී යේවා” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. අරහත් මිහිඳු මාහිමියන් ප්‍රමුඛ දූත පිරිස ලක්දිවට වැඩම කර බුදු දහම හඳුන්වා දීමේ 2,534 වන සංවත්සරය සමරමින් මෙම පොසොන් සතිය ජූනි 26 වන දින සිට ජූලි 2 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙවරත් ජාතික පොසොන් උත්සවයේ කේන්ද්‍රස්ථානය ලෙස මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර අටමස්ථානය යන ඓතිහාසික පුදබිම් තෝරාගෙන තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් සහ පොසොන් කමිටු සභාපති රංජිත් විමලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පොසොන් කමිටු රැස්වීමේදී මේ පිළිබඳව තීරණය කෙරිණි. ලංකාරාම විහාරාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමි සහ අටමස්ථානාධිපති (වැඩබලන) පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥානතිලක හිමි ඇතුළු මහා සංඝරත්නය සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
උත්සව සමයේ මිහින්තලය සහ අනුරාධපුරය වෙත පැමිණෙන දහස් ගණනක් වන බැතිමතුන්ගේ පහසුව, සුබසාධනය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා පුළුල් පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ බුදු දහම ස්ථාපිත කළ දිනය සිහිපත් කරන අතිශය වැදගත් ආගමික හා සංස්කෘතික උත්සවයක් වන පොසොන් උත්සවය, මෙවරත් දැඩි භක්තියෙන් හා සාමූහිකත්වයෙන් සමරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















