ලෝක රේගු සංවිධානයේ (WCO) දූෂණ විරෝධී සහ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන මෙහෙයවන ඇන්ඩ්‍රියා හැම්ප්ටන් (Andrea Hampton) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත්, එම සංවිධානයේ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ තාක්ෂණික උප කමිටුවේ තිදෙනෙකුගෙන් සමන්විත උසස් නියෝජිත කණ්ඩායමක් අද (05) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාව ජනාධිපති කාර්යාලයේදී හමුවී තිබේ.
ශ්‍රී ලංකා රේගුව සමඟ දූත මණ්ඩල සංචාරයක නිරතව සිටින මෙම නියෝජිත පිරිස, මෙරට රාජ්‍ය අංශය තුළ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීම, යහපාලනය ශක්තිමත් කිරීම සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාම සඳහා ජනාධිපති කාර්යාලය විසින් මේ වන විට දියත් කර ඇති විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ලේකම්වරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.
මෙහිදී නියෝජිත පිරිස ඇමතූ ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පෙන්වා දුන්නේ, දූෂණය පිටුදැකීම සඳහා වත්මන් රජය ලබා දී ඇති ඉහළම ප්‍රමුඛතාවයට අනුකූලව, සදාචාරාත්මක, වගවීමකින් යුත් සහ දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Units) විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්යභාරයයි. මේ වෙනුවෙන්ම කැපවූ විශේෂ අංශයක් දැනටමත් ජනාධිපති කාර්යාලය තුළ ස්ථාපිත කර ඇති බවත්, එමඟින් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක ස්ථාපනය කිරීම, නිලධාරීන්ගේ ධාරිතාව ගොඩනැගීම මෙන්ම එම ඒකකවල මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් හා පහසු කිරීම සඳහා නව මාර්ගගත (Online) පද්ධතියක් හඳුන්වා දීමට ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.
















