ග්‍රාමීය ව්‍යවසායකයා ජාතික ආර්ථිකයේ සක්‍රීය කොටස්කරුවෙකු කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයක් බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ රාජ්‍ය විශ්වවිද්‍යාල ආශ්‍රිතව සේවා හා ආධාරක මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහනේ තුන්වැනි පියවර ලෙස, මඩකලපුව නැඟෙනහිර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ පරිශ්‍රයේ ඉදිකළ තාක්ෂණික ව්‍යාපාර බිහි කිරීමේ මධ්‍යස්ථානය (Technology Business Incubation Center – TBIC) ඊයේ (04) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ද ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී විය.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සහ නැඟෙනහිර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව නවීන පර්යේෂණ උපකරණ සහිතව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත. නැඟෙනහිර පළාතේ බහුලව පවතින කෘෂිකාර්මික, පශුසම්පත් සහ සාගර සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින්, නවීන විද්‍යාත්මක දැනුම ඔස්සේ අගය එකතු කළ ආහාර නිෂ්පාදන බිහි කිරීම සහ ඒවා වාණිජකරණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා සඳහන් කළේ ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යවසායකයන්ට පරීක්ෂණාගාර පහසුකම් ලබා ගැනීමට දැන් කොළඹට යාමට අවශ්‍ය නොවන බවයි. නව නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රාග්ධන පහසුකම් සපයා ගැනීමට මඟ පෙන්වමින්, එය වාණිජකරණය දක්වා ගෙනයෑමට රජය සහය දෙන බවත්, අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 6%ක ප්‍රතිශතයක් වෙන් කිරීමට ඉදිරියේදී ක්‍රමානුකූලව කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී පෙන්වා දුන්නේ ආර්ථිකයට ගැළපෙන කුසලතා සහිත උපාධිධාරීන් බිහි කරන්න මෙම මධ්‍යස්ථානයට හැකියාව පවතින බවයි. එදා ලකුණු දාගන්න තනියම වැඩ කරපු අමාත්‍යාංශ වෙනුවට, අද වත්මන් රජයේ අමාත්‍යාංශ රටේ සංවර්ධනය වෙනුවෙන් සාමූහිකව එකට එකතු වී ප්‍රතිපත්ති සකස් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
















