2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙවර ජගත් පරිසර දින සැමරුමට සමගාමීව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර 05 වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය. මීට අමතරව වැඩිදියුණු කරන ලද ජාතික හරිත වාර්තාකරණ මාර්ගෝපදේශ හඳුන්වා දීම, මාගම වැලිකඳු වැටිය බලපෑමට යටත් වන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම, අලිමංකඩ නිදහස් කිරීම මෙන්ම කුඩා බුබුල දිය උල්පත හා කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත බවට පත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, ජාතික ජන බලවේග රජය යටතේ සමරනු ලබන දෙවැනි ජගත් පරිසර දිනය මෙය වන බවයි. 2025 වසරේ ආරම්භ කළ “වනස්පති” වැඩසටහන යටතේ ගතවූ වසරක කාලය තුළ පමණක් වනාන්තර 86ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය සමත් වී ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
අලි-මිනිස් ගැටුම නිරාකරණය සඳහා හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අලිමංකඩ 03ක් විවෘත කිරීමට කටයුතු කර ඇති බවත්, හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයට අදාළ නීති රෙගුලාසි ගැසට් කර ඇති බවත් හෙතෙම පැවසීය. වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල පවතින මානව හා භෞතික සම්පත් හිඟයට විසඳුම් ලෙස නව බඳවාගැනීම් සහ වාහන ලබාදීමට පියවර ගෙන ඇති අතර, පින්නවල අලි අනාථාගාරය අලි අභිජනන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට “සොබා” සහ “සොබා කෙත” පාරිසරික සඟරා එළිදැක්වීම සහ පරිසර හිතකාමී නව නිපයුම් තරගාවලිවල ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය ද සිදු වූ අතර, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පරිසරවේදීන් රැසක් මේ සඳහා සහභාගී වූහ.
















