නවසීලන්තය වෙත ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වටිනා ‘සීහොක්’ (Seahawk) මුහුදු මෙහෙයුම් හෙලිකොප්ටර් යානා පහක් (05) විකිණීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබේ. නවසීලන්තයේ ආරක්ෂක හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
මෙම අලෙවිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එමගින් නවසීලන්තයේ වර්තමාන සහ අනාගත යුධ තර්ජනවලට මුහුණ දීමේ හැකියාව සහ එහි යටිතල පහසුකම්වල ආරක්ෂාව ශක්තිමත් කෙරෙනු ඇති බවයි. මෙම හෙලිකොප්ටර් යානා නිෂ්පාදනය කරනු ලබන්නේ ලොක්හීඩ් මාටින් (Lockheed Martin) සමාගමේ සි,කෝර්ස්කි (Sikorsky) අංශය විසිනි.
චීනයේ වේගවත් හමුදාමය වර්ධනය සහ කලාපීය ආරක්ෂක තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සිය හමුදා වියදම් දෙගුණ කිරීමට නවසීලන්ත රජය පසුගිය වසරේදී තීරණය කළේය. වසර හතරක් ඇතුළත ආරක්ෂක වියදම් නවසීලන්ත ඩොලර් බිලියන 9කින් (ඇමරිකානු ඩොලර් බිලියන 5ක්) ඉහළ දැමීමටත්, වසර අටක් ඇතුළත දළ දේශීය නිෂ්පාදිතයෙන් 2%ක් දක්වා ආරක්ෂක වියදම් වැඩි කිරීමටත් ඔවුන් සැලසුම් කර ඇත.
ඔස්ට්‍රේලියාවේ සමීපතම මිතුරෙකු වන නවසීලන්තය, බටහිර හමුදා සහ ඔවුන්ගේ හවුල්කරුවන්ට සහයෝගය දක්වමින් නැගෙනහිර ආසියානු කලාපයේ සිය හමුදා මෙහෙයුම් ක්‍රමයෙන් පුළුල් කරමින් සිටී. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ යුරෝපීය සහ ආසියා-පැසිෆික් කලාපීය මිත්‍ර රටවල් සිය හමුදා වියදම් වැඩි කිරීමට දැඩි ලෙස දිරිමත් කරමින් සිටින පසුබිමක මෙම ගනුදෙනුව සිදු වීම විශේෂත්වයකි.
















