ලෝක පරිසර දිනයට සමගාමීව, නාවලපිටිය සුදුගල ඇල්ල (ගල්පොත්ත දිය ඇල්ල) සහ ඒ අවට පරිසරය පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදානයක් පසුගියදා සාර්ථකව පවත්වා තිබේ. සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙම ස්වභාවික ජල ක්‍රීඩා ස්ථානය, සංචාරකයන් විසින් අවිධිමත් ලෙස බැහැර කරන ලද කසල හේතුවෙන් දැඩි ලෙස දූෂිත වී තිබූ බව මෑතකදී මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.
මෙම අනාවරණයෙන් අනතුරුව පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ මැදිහත්වීම මත, නාවලපිටිය බාලදක්ෂ දිසාවේ කඳුරට මානවක බාලදක්ෂ සමාජය (Upcountry Rovers), මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ගම්වාසීන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එක්ව මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළහ. මෙහිදී දිය ඇල්ල අවට තිබූ විශාල කසල ප්‍රමාණයක් ඉවත් කර ප්‍රධාන මාර්ගය දෙපස ද පිරිසිදු කෙරිණි.
ශ්‍රමදානයට එක්වූ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල කරුණාරත්න මහතා සඳහන් කළේ, සුදුගල ඇල්ල සංවර්ධනය කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය සහ රජය යටතේ සැලසුම් සකස් කර ඇති බවයි. එහි පළමු පියවරක් ලෙස, දිය ඇල්ල ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු සවිකිරීම සහ කසල බඳුන් ස්ථානගත කිරීම සිදු කෙරේ. තවද, නාවලපිටිය පොලිසිය සහ අදාළ අංශ සමඟ එක්ව මෙම ප්‍රදේශය නියාමනය කිරීමටත්, පරිසරය දූෂණය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත් බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
කඳුරට මානවක බාලදක්ෂ සමාජයේ මානවිකා ටෂ්ණි මහත්මිය ප්‍රකාශ කළේ, ලෝක පරිසර දිනය නිමිත්තෙන් තම සමාජය මගින් සිදුකරන වැඩසටහන්වල පළමු පියවර ලෙස මෙම ස්ථානය පිරිසිදු කිරීමට එක්වූ බවයි. මෙය ආරක්ෂා කර ගැනීම සියලුම පුරවැසියන්ගේ වගකීමක් බව ද ඇය අවධාරණය කළාය.
මාධ්‍ය වාර්තා කිරීමෙන් පසු බලධාරීන් සහ ස්වේච්ඡා කණ්ඩායම් එක්ව මෙම සුන්දර ස්ථානය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය සතුට පළ කර සිටින අතර, මින් ඉදිරියට මෙම ස්ථානය දූෂණය නොවී පවත්වා ගැනීමට බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බව ඔවුහු පෙන්වා දෙති.
















