නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේදී පසුගිය 4 වනදා ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ජීවිත තුනක් අහිමිවීමේ ඛේදනීය සිදුවීමෙන් පසුව, එම මාර්ගයේ පන්විල මංසන්ධියේ සිට ගලබොඩ දක්වා කිලෝමීටර් 6ක දුර ප්‍රමාණයක දිරාපත් වූ කඩා වැටීමේ අවදානමක් සහිත විශාල ගස් පවතින බව ප්‍රදේශවාසී ඉඩම් හිමියන් පෙන්වා දෙයි.
මෙම මාර්ගය දෙපස නුග, කොස් සහ යුකැලිප්ටිස් වැනි දැව වර්ගවලට අයත් ගස් ගණනාවක් ඉතා අවදානම් සහගත ලෙස පවතින අතර, මේ පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හරහා පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් රම්‍ය ජයසුන්දර මහත්මියව දැනුවත් කළද, මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බව ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළේ, ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශ මත කපා ඉවත් කළ යුතු ගස් පිළිබඳව කඩිනමින් පියවර ගන්නා ලෙස තමන් ගම්පොළ ඇත්ගාල දැව සංස්ථාව වෙත ලිඛිතව උපදෙස් ලබා දී ඇති බවයි. එම විමසුම සම්බන්ධයෙන් ඇත්ගාල දැව සංස්ථාවේ සහකාර ප්‍රාදේශීය කළමනාකාර අඹේරත්න මහතා ප්‍රකාශ කළේ, අදාළ ලිපි ගොනුව පරීක්ෂා කර බලා ඒ පිළිබඳව ප්‍රතිචාරයක් ලබා දෙන බවයි.
මේ අතර, පසුගිය 4 වනදා ගසක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් තිදෙනාගේ අවසන් කටයුතු ඊයේ (05) පස්වරුවේ නාවලපිටිය ගලබොඩ වතුයායේදී සිදු කෙරිණි. මියගිය අය අතර 14 හැවිරිදි පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ තවත් අසල්වැසි කාන්තාවක් වෙති.
















