ශ්‍රී ලංකාවට උතුරු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අයහපත් කාලගුණික තත්ත්වයට හසුවී ආපදාවට පත්ව සිටි ලාංකික ධීවර යාත්‍රාවක් සහ එහි සිටි ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් ඉතා සාර්ථක ලෙස මුදාගෙන තිබේ.
මෙම ධීවර යාත්‍රාව උතුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොඩබිම සමඟ පැවති සන්නිවේදන සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබුණි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් ලද තොරතුරකට අනුව, වහාම ක්‍රියාත්මක වූ කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නාවික හමුදාවේ සහාය ඇතිව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළේය.
ජූනි 06 සහ 07 යන දෙදින පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසු, අනලයිතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ තිබී මෙම යාත්‍රාව සහ ධීවරයින් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි විය. නිරුපද්‍රිතව මුදාගත් ධීවරයින් තිදෙනා සහ ආපදාවට ලක්ව තිබූ ඔවුන්ගේ යාත්‍රාව නාවික හමුදා යාත්‍රාවක ආධාරයෙන් ආරක්ෂිතව ගොඩබිම වෙත රැගෙන ඒමට පියවර ගැනුණි.
















