ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සිගරට් බදුකරණයේ පවතින බරපතල ප්‍රතිපත්තිමය දුර්වලතා සහ ඉන් සමාජයට මෙන්ම රාජ්‍ය ආදායමට සිදුව ඇති දරුණු බලපෑම විද්‍යාත්මක සාක්ෂි සහිතව අනාවරණය කරන විශේෂ දත්ත පත්‍රිකාවක් (Fact Sheet) මත්ද්‍රව්‍ය හා දුම්කොළ තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් 2026 මැයි මාසයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. එම දත්ත පත්‍රිකාවට අනුව, 2023 වසරේදී සිගරට් බදු 20%කින් වැඩි කිරීම හේතුවෙන් සිගරට් අලෙවිය මිලියන 521.5කින් (18%ක අඩුවීමක්) පහත වැටී, රජයේ සිගරට් බදු ආදායම රුපියල් බිලියන 7.7කින් ඉහළ ගියද, ඉන් පසුව බලධාරීන් අනුගමනය කළ දුර්වල බදු ප්‍රතිපත්ති හේතුවෙන් එම ජයග්‍රහණ මුළුමනින්ම අහෝසි වී ගොස් ඇත.
ADIC ආයතනය පෙන්වා දෙන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සිගරට් සිල්ලර මිලෙන් 75%ක් බදු වශයෙන් පැවතිය යුතු බවට නිර්දේශ කර තිබුණ ද, ලංකාවේ වෙළඳපොළ තුළ බහුලවම අලෙවි වන සිගරට් කාණ්ඩයේ බදු ප්‍රතිශතය 74.0% සිට 68.8% දක්වා සූක්ෂ්ම ලෙස කඩා වැටීමට ඉඩ හැර ඇති බවයි. මෙම අත්තනෝමතික බදු සහනය හේතුවෙන් වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය ඇස්තමේන්තු කර ඇති පරිදි 2024 වසරේදී පමණක් රජයට අහිමි වී ඇති බදු මුදල රුපියල් බිලියන 9.4කි (රුපියල් කෝටි 940කි). 2017 – 2024 කාලපරිච්ඡේදය තුළ රජයේ සිගරට් බදු ආදායම් වර්ධනය 27.5%ක් වැනි මන්දගාමී මට්ටමක පවතිද්දී, ලංකා දුම්කොළ සමාගමේ ශුද්ධ ලාභය 92.4%ක අතිදැවැන්ත ප්‍රතිශතයකින් ඉහළ යාම තුළින්ම මෙම බදු ව්‍යුහය කාහට වාසි සහගත ලෙස සකස් කර ඇත්ද යන්න මනාව පැහැදිලි වේ.
ඇතුළත් කර ඇති ප්‍රස්ථාරික දත්තවලට අනුව, 2000 සිට 2025 දක්වා සමස්ත සිගරට් නිෂ්පාදනය ක්‍රමයෙන් පහත වැටී තිබුණ ද, දුම්කොළ සමාගමේ ලාභය අඛණ්ඩව ඉහළ ගොස් ඇත්තේ විද්‍යාත්මක නොවන බදු ව්‍යුහයේ පිහිටෙන් බව තහවුරු වේ. උද්ධමනය සහ ජනතාවගේ ආදායම් වර්ධනයට සාපේක්ෂව බදු සංශෝධනය නොකිරීම නිසා, 2025 වසරේදී සිගරට් නිෂ්පාදනය සහ භාවිතය 5%ක භයානක වර්ධනයක් පෙන්වා ඇත. ලංකාවේ සමස්ත මරණවලින් 83%ක්ම බෝ නොවන රෝග (NCDs) නිසා සිදු වන අතර, දුම්කොළ භාවිතය ඊට ප්‍රධානතම හේතුවකි. මෙරට තුළ දුම්පානය හේතුවෙන් දිනකට වළක්වා ගත හැකි මිනිස් මරණ 50ක් පමණ ද, වාර්ෂිකව මරණ 20,000ක් ද සිදුවන බැවින්, මෙම මාරාන්තික කර්මාන්තයට රැකවරණය දෙන බදු සහන වහාම අහෝසි කර සිගරට් බදු ප්‍රතිශතය WHO නිර්දේශිත 75% දක්වා ඉහළ දැමිය යුතු බව ADIC ආයතනය ප්‍රකාශ කරයි.
















